“ලොව ප්‍රථම ධර්ම දානය දුන්
ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ
මග යමින්…..”

මග පෙන්වීම සහ උපදේශක මඩුල්ල

පූජනීය දිඹුල්කුඹුරේ උදිතරතනාලංකාර නායක ස්වාමීන්වහන්සේ

වන්දනීය වහරක අභයරතනාලංකාර නාහිමිපාණන් වහන්සේගේ පූර්ණ ආශීර්වාදය යටතේ වහරක අරියචින්තාශ්‍රම බෞද්ධ විහාරස්ථානයේ සාසනික ක්‍රියාකාරකම් මෙහෙයවීමේ ප්‍රධාන වගකීම පැවරී ඇත්තේ පූජනීය දිඹුල්කුඹුරේ උදිතරතනාලංකාර නායක ස්වාමීන්වහන්සේටයි.

එම කටයුතු නොපිරිහෙලා ඉටුකරමින් උන්වහන්සේ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් විශාල ආගමික සහ සාසනික සේවයක් සදහා වර්තමානයේ නායකත්වය ලබා දෙනු ලබයි.

වහරක අරියචින්තාශ්‍රමය, අනුරාධපුර අරියචින්තාශ්‍රම බොදු සෙනසුණ, කන්ද උඩරට සතිපට්ඨානඝර භාවනා මධ්‍යස්ථානය සහ නිල්වලාගල භාවනා මධ්‍යස්‌ථානය යන සිව් මහා විහාරයන්හි නායකත්වය දරන්නේ  පූජනීය දිඹුල්කුඹුරේ උදිතරතනාලංකාර නායක ස්වාමීන්වහන්සේයි.

වන්දනීය වහරක අභයරතනාලංකාර නාහිමිපාණන් වහන්සේ විසින් මතුකළ සැඟවුණු බොදු මග ලොව පුරා වෙසෙන බැතිමතුන් වෙත ගෙන යෑම සදහා වහරක TV සහ වහරක අන්තර්ජාල ගුවන්විදුලිය ආරම්භ කළේද  පූජනීය දිඹුල්කුඹුරේ උදිතරතනාලංකාර නායක ස්වාමීන්වහන්සේ විසිනි.

මීට අමතරව ප්‍රධාන ධාරාවේ රූපවාහිනී මාධ්‍ය තුල වහරක උත්තම දේශනා විකාශය කිරිමටද උන්වහන්සේගේ නායකත්වයෙන් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.   

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය සාසනික ක්‍රියාකාරකම් සඳහා භාවිතා කිරීමේ පුරෝගාමී යතිවරයාණන් වහන්සේ  ලෙස උන්වහන්සේ මෙරට සාසනික ඉතිහාසයට එක්වී ඇත.

සසුන් කෙතට භික්ෂූන් වහන්සේලා සියයකට වැඩි සංඛ්‍යාවක් දායාද කර ඇති අප නායක හිමියන් වහරක අරියචින්තාශ්‍රම බෞද්ධ විහාරස්ථ පුණ්‍ය භාරයේ ප්‍රධාන අර්ථලාභී ධුරයද හොබවයි.

පූජනීය වළල්ලාවිට මුදිතවංශ ස්වාමීන්වහන්සේ

පූජනීය වළල්ලාවිට මුදිතවංශ ස්වාමීන්වහන්සේ ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම ආරණ්‍යවාසී භික්ෂු පරපුරෙන් පැවත එන විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමකි.

ගල්දූව ආරණ්‍ය සෙනසුණේ දී ඉතා කුඩා කාලයේදීම පැවිදි දිවියට පත්වූ උන්වහන්සේ අති පූජ්‍ය නා උයනේ අරියධම්ම  නාහිමිපාණන් වහන්සේ ආචාර්ය වරයාණන් වහන්සේ සහ උපාද්‍යාචාර්ය වරයාණන් වහන්සේ කර ගනිමින්  ඓතිහාසික රුවන්වැලි මහා සෑයේදී පැවිදි දිවියට ඇතුලත් වූ අතරම උත්තම අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබා ඇත්තේද අති පූජ්‍ය නා උයනේ අරියධම්ම  නාහිමිපාණන් වහන්සේ ආචාර්යාණන් වහන්සේ සහ උපාද්‍යාචාර්ය වරයාණන් වහන්සේ කර ගනිමින් උන්වහන්සේගේ ආශීර්වාදයෙන් වීම විශේෂත්වයකි.  

ත්‍රිපිටක ධර්මය පිළිබඳ හසළ දැනුමක් ඇති පූජනීය වළල්ලාවිට මුදිතවංශ ස්වාමීන්වහන්සේ අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර අනුබුදු හිමියන්ගේ ත්‍රිපිටක ධර්ම විග්‍රහයන් තනිව අධ්‍යනය කරමින් , විවධ අවස්ථාවල වහරක මහා තෙරුන් වහන්සේ ඇසුරේ හිඳිමින් නිවන් මග අවබෝධයෙන් යුතුව දේශනා කරන පුරෝගාමී දේශකයාණන් වහන්සේ නමක් ලෙස වහරක පද්ධතිය තුල වැඩ වාසය කරති.

ගල්දූව ආරණ්‍ය සෙනසුණෙන් ලද ඉතා උසස් විනය සහ ශික්‍ෂණය උපයෝගී කරගනිමින්  වහරක පද්ධතිය තුළින් විනයවත් වැඩදායී නවක සාමණේර හිමිවරුන් සසුන් කෙතට දායාද කිරීමේ උතුම් කටයුත්තටද පූජනීය වළල්ලාවිට මුදිතවංශ ස්වාමීන්වහන්සේ නායකත්වය දෙනු ලබයි.

‘සාසන මග’ YouTube නාලිකාව සහ සමාජ මාධ්‍ය පිටුව ආරම්භ කරමින් දහස් ගණනාවක් බැතිමතුන්ට ශ්‍රී සද් ධර්මය වෙත අවතීර්ණය වීමටද අප ස්වාමීන්වහන්සේ අවස්ථාව සලසා දෙමින් අනගි සාසනික මෙහෙවරක නිරත වෙමින් සිටින නිසාම ‘නිවන TV’ සදහම් ප්‍රචාරණ ව්‍යාපෘතිය පූජනීය වළල්ලාවිට මුදිතවංශ ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරේ.

පූජනීය අභයපුර මහින්දසිරි ස්වාමීන්වහන්සේ

ඉතා දීර්ඝ කාලයක් අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර නාහිමිපාණන් වහන්සේ ඇසුරේ සාසනික කටයුතු රාශියකට නායකත්වය දී ඇති උන්වහන්සේ සිය දෛනික පැවිදි දිවියේ වැඩි කාලයක් මිඩංගු කරන්නේ දහම් ගැටළු සාකච්චා කිරීමට සහ විහාරස්ථානය කේන්ද්‍රව සිදුකරනු ලබන විවිධ ආගමික කටයුතු සදහා මගපෙන්විමෙනි.

අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර අනුබුදු හිමියන් මතුකළ ශ්‍රී සද් ධර්මය අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන ඤාණ යෙන් දේශනා කොට විග්‍රහ කිරීමේ ප්‍රමුඛතම සාසනික යුතුකම ඉටුකරනු ලබන්නේ ද  පූජනීය අභයපුර මහින්දසිරි ස්වාමීන්වහන්සේ විසිනි.

‘නිවන්පුර කලණ වැට’ එකමුතුවේ පැවිදි අනුශාසක ලෙස කටයුතු කරමින්  පූජනීය අභයපුර මහින්දසිරි ස්වාමීන්වහන්සේ ශ්‍රී සද් ධර්ම දේශනා ඇතුලත් CD තැටි ලක්‍ෂයක් ධර්ම දානය ලෙස බෙදාදීමේ මහගු පින්කමට නායකත්වය ලබාදුන්හ.

වහරක TV  නාලිකාව ආරම්භ කිරීම සදහා පෙරටුගාමී සාසනික සේවයක් කරනු ලැබුවේද පූජනීය අභයපුර මහින්දසිරි ස්වාමීන්වහන්සේ විසිනි. 

පුරා විසි වසරකට ආසන්න කාලයක් පැවිදි දම් පුරන උන්වහන්සේගේ මගපෙන්වීමෙන් වහරක ශ්‍රී සම්බුද්ධ ධාතු මන්දිරය ඉදිකිරීමේ  මහා පුණ්‍ය කටයුත්ත ක්‍රියාත්මක කෙරේ

නීතිඥ චන්දන සිරිවර්ධන මහතා

වහරක අනුබුදු හිමියන් සමීපයෙන් ඇසුරු කරමින් උන්වහන්සේ මතුකල  තථාගත දේශනා ලේඛනාරූඪ කිරීමේ මහානර්ඝ සාසනික මෙහෙවර සිදුකිරීමේ ගෞරවය හිමිවන්නේ නීතිඥ චන්දන සිරිවර්ධන මහතාටයි.

අති පූජනීය වහරක අභයරතනාලංකාර නාහිමිපාණන් වහන්සේ සමග සැඟවුණු බොදු මග යළි පිබිදවීමේ අරමුණින් ‘හෙළ බොදු පියුම’ මාසික දහම් සඟරාව ආරම්භ කලේද නීතිඥ චන්දන සිරිවර්ධන මහතායි.

විශේෂයෙන්ම වහරක අනුබුදු හිමියන් සමාධියෙන් මතු කල විවිධ හෙළ ඔසු විශාල ප්‍රමාණයක් පිළිබද වට්ටෝරු පොදු ජනයාගේ හිත සුව පිණිස චන්දන සිරිවර්ධන මහතා කිසිදු වාණිජමය අරමුණකින් තොරව ජනගත කර තිබේ.

බොහෝ දෙනෙකුගේ යහපත පිණිස ශ්‍රී සම්බුද්ධ දේශනා පිළිබද මෙන්ම අර්ථාන්විත සාසනික පින්කම් ගැනද නීතිඥ චන්දන සිරිවර්ධන මහතා රචනා කර ඇති ලේඛන සංඛ්‍යාව දහස් ගණනකි.

බොදුණු කවිපද සහ ගී පද රචකයෙකුද වන නීතිඥ චන්දන සිරිවර්ධන මහතා වහරක පුරාවෘත්තයේ ඉතා වැදගත් පුද්ගල සාධකයක් වන අතර එතුමා උතුම් සාසනික කටයුතු වෙනුවෙන් වැය කර ඇති  කාලය, ශිල්පීය ඥානය  සහ ධනය ගණනය කල නොහැකිය.

කමින්ද රාජපක්‍ෂ මහතා

වහරක මෙත් ගලනා පින් බිම කේන්ද්‍ර කොට සිදුකෙරෙන සියලු සදහම් ප්‍රචාරණ ක්‍රියාකාරකම් වල තොරතුරු තාක්‍ෂණ උපදේශක ලෙස කටයුතු කරන්නේ කමින්ද රාජපක්‍ෂ මහතායි

අති පූජනීය වහරක අභයරතනාලංකාර නාහිමිපාණන් වහන්සේගෙන් සජීවීව ධර්මය ශ්‍රවණය කිරීමේ භාග්‍ය උදාකරගත් එතුමා වහරක නිළ ‘Youtube’ චැනලය වන වහරක TV ආරම්භ කිරීම සදහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකළේය. ඊට අමතරව වහරක අන්තර්ජාල ගුවන් විදුලිය මෙන්ම අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයක් නිර්මාණයටද ඔහු දායක විය.

වහරක මෙත් ගලනා පින්බිමේ සියලුම සමාජ මාධ්‍ය මෙහෙයුම් කටයුතු සදහා තාක්ෂණික සහාය ලැබෙන්නේ කමින්ද රාජපක්‍ෂ මහතාගෙනි.

තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ වසර විසි පහකට අධික අත්දැකීම් ඇති කමින්ද රාජපක්‍ෂ මහතා ත්‍රිමාණ ග්‍රැෆික් නිර්මාණයේ ප්‍රමුඛයෙකු වන අතර ඔහු  ‘යුනික් ඉනොවේෂන්’ පෞද්ගලික සමාගමේ ප්‍රධානී ලෙස කටයුතු කරයි.  

ලලිත් ඉඹුලාන මහතා

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දුරකථන සමාගමක් වන ‘ඩයලොග් ආසියටා’ සමාගමේ ඦේෂ්ඨ සාමාන්‍යාධිකාරී ධුරයේ කටයුතු කරමින් ලලිත් ඉඹුලාන මහතා ඩයලොග් සමාගමේ සන්නිවේදන ජාල සහ නව තාක්‍ෂණය පිළිබද වගකීම දරයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිදාරියෙකු වන ලලිත් ඉඹුලාන මහතාට ජාතික සහ ජාත්‍යන්තර විදුලි සංදේශ ක්ෂේත්‍රයන්හි  වසර තිහකට අධික කාලයක අත්දැකීම්  ඇත.

වහරක මෙත් ගලනා පින්බිම කේන්ද්‍ර කොට සිදුකෙරෙන සාසනික කටයුතු රැසකට අනගි දායකත්වක් ලබා දී ඇති ලලිත් ඉඹුලාන මහතා  වහරක අරියචින්තාශ්‍රම බෞද්ධ විහාරස්ථ සාසන අභිවෘද්ධිතා භාරයේ සහ දායක සභාවේ ගරු උපදේශකයෙකු ලෙස කටයුතු කරයි.

අතුල සුල්තානගොඩ මහතා

අති පූජනීය වහරක අභයරතනාලංකාර නාහිමිපාණන් වහන්සේ විසින් ස්ථාපිත කරන ලද වහරක අරියචින්තාශ්‍රම බෞද්ධ විහාරස්ථ සාසන අභිවෘද්ධිතා පුණ්‍ය භාරයේ භාරකරුවෙකු ලෙස අතුල සුල්තානගොඩ මහතා කටයුතු කරයි.

ලෝක බැංකුව විසින් ක්‍රියාවට නංවන ලද ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ සංවර්ධන ව්‍යාපෘතිය වූ ‘ඉ – ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයෙකු ලෙස වසර දහයක් ඔහු සේවය කර ඇත.

රාජ්‍ය සේවයේ වසර විසි දෙකක වෘත්තීය අත්දැකීම් ඇති එතුමා ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, තොරතුරු තාක්‍ෂණ හා විදුලි සංදේශ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යන ආයතන වල විධායක ශ්‍රේණියේ විවිධ  තනතුරු හොබවා තිබේ.

තොරතුරු තාක්ෂණය, සහ ජනමාධ්‍ය පිළිබද ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල දෙකකින් උසස් අධ්‍යාපනය සම්පූර්ණ කර ඇති අතුල සුල්තානගොඩ මහතා මූලෝපායික සන්නිවේදනය පිළිබද වෘත්තීය සුදුසුකම් ලබා ඇත්තේ නෙදර්ලන්තයෙනි.